කතාවක් නොවූ කතාවක්

කවදාවත්ම ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම පිළිබඳව ශානි පළමු වරට ශෝක වූවාය. ඇයට ඉලක්කය වැරදී ඇත. වෙලේ ජල පහර ගලා යන දෙපාවට වීසි කල ඇගේ පළමු ආදර හසුන සරුසාරව කුඹුර පුරා පැතිර ගිය දිය හබරළ ගසක් අතරට වැටින. වෙලට බසින්නට පුළුවන් කමකුත් නැත. නියර කැඩී මඩවී ගොස්ය. මේ සියල්ල ඇගේ බක පණ්ඩිතකම නිසාම බව ඇය සිතුවාය. ඉතින් ඈ තම අමතර පන්තියට ගියේ මහා බරවූ හදවතකිනි. කුළුඳුලේ හිත සෙමින් සෙමින් කාලාන්තරයක් තිස්සේ වැවුනු ඒ කුඩා පැලෑටිය අව් රැල්ලක් වැටී අතු පතර දළුලා වැවෙන්නට හිතුවා පමනි. මේ අබග්ගය ඈ හිස පිට කඩා වැටී ඇත.

ආදර හසුන චිත්‍රපටය බැලූ පසු ආදර හසුන් ගැන ඇයට තිබුනේ මහා බියජනක සිතුවිලිය. එහෙත් ප්‍රේමයේ සුවඳ දැනෙද්දී හිත පුරා ඇතිවූ හැඟීම් ලියා හිත සැහැළ්ලු කරගත යුතුම බව ඇය සිතුවාය. ඒ නිසාම ශානි යෝජනා කලේ ආදර හසුන කියවූ පසුව නැවත ඇයටම ලබා දෙන ලෙසයි. එවිය එය ඇයටම විනාශ කර දැමිය හැක. නීති කෘත්‍යන් පිළිබඳ බියක් ද ඇති නොවේ. ඒ එකඟතාවය ලබා ගැනීම අපහසු නොවීය. එදා ඔහු ශානිගේ නිවසට පැමින සුහද සාමිච්චියේ යෙදී සිට ඔවුන් හුදකලා වූ විටක හදිසියේ ඇගෙන් හාද්දක් ඉල්ලූ දා ඇය තම හද විවර කලාය.  එහෙත් ඇය හාද්ද ප්‍රතික්ශේප කල නිසා ඇය බොහෝ කල් සිට ඔහු පිළිබඳ බලාපොරොත්තුව සිටි බව ඔහුට නොඇසුනා යැයි ඇයට සිතුනි. ඔහු කොහොමත් සිටියේ දෙලොවක් අතර මෙනි. ප්‍රතික්ෂේප වීම ඔහුට දරාගත නොහැකි වූවා විය හැකියැයි ඇයට සිතින. ඒත් බොහෝ පොත් කියවා තිබූ ශානිගේ සිතේ ඒ ඉල්ලීම සමඟම ඇඳි ගියේ ගැහැනු ළමුන් හා සබඳතා පවත්වා ඔවුන් අතහැර දමන චපල පෙම්වතෙකු ගැන ඇය කියවූ සිංහල නවකතාවකි.ඉතින් සිතේ කොයි තරම් කැමැත්තක් තිබුනත් ඇය හාද්දක් පිළිබඳ ඇසූ වනම බිය වූවාය. ඈ ප්‍රතික්ෂේප කලේ ඔහුව නොව එම ක්‍රියාවයි.වැඩි වෙලාවක් ඇගේ නිවසේ රැඳී නොසිටි ඔහු ඉක්මනින් පිටත්ව ගියාය. කරුණු පහදා දීම සඳහා ඔහුගේ ගෙදරට ඇය පසුදා යන විට ඔහුට දෙවියන්ගේ ලෙඩ හැදී ඇති බව ඔහුගේ මව පැවසුවාය. ඉතින් ඇයට මේ ලිපිය නොලියා සිටිය නොහැකි විය.

ඔහු පිළිබඳ ඇයට මුලින්ම ආශක්ත වීමක් ඇති වූයේ කවදා දැයි ඇයට හරියටම මතකයක් නැත. නමුත් ඒ පැටි වියේ දී බව නම් සහසුද්දෙන්ම  කිව හැකිය. ඔවුන් එක පන්තියකට වැටුනේ හත් වන පන්තියේදීය. පන්තියේ ඇයට හරි කෙලින් පිරිමි ළමයින්ගේ පේලියෙ ඔහු හිඳ ගනී. ඩෙස්කුවේ හිස ඔබා ගත් විට ඇයට ඔහුව පැත්තකින් පෙනේ. ඇය ඔහු දෙස බලා සිටියි. එය කිසිවෙකු දැන සිටියේද නැත. ඔහු පාසලට නොපැමිනෙන දාකට ඇයට යම් පාළුවක් දැනේ. කටකාර දඟකාර ඇයට ඇගේ විරුද්ධ චරිතයක්වූ ඔහුට ප්‍රිය වූයේ ඇයි ද යන්න අද ද ඇයට කිව නොහැකිය. කෙසේ නමුත් පන්තියෙන් පන්තිය පාසලේ වසරින් වසර ගෙවා ගිය නමුත් ඇගේ හිත ඔහුට කියන්නට හැකි අවස්ථාව උදාවූයේ වසර හය හතකට පසුවය.ඒ ඇය ද ඔහු ද ඔවුන්ගේ වෙනස් ආදර කතා වල කතා නායකයන්ව පසුව ජීවිතයේ ඒ කෙටි පරිච්ඡේද වලට අවසන් තිත තැබුවාටත් පසුවය. පස මිතුරුව සිට මිතුරු දමේ සුන්දර අන්දරය ද ලියා තැබූ පසුවය. ඇයගේ හසුන කියවා ඇයටම යළි ලබාදුන් ඔහු නැවත කිසිවක් නොකීවේය. ඔහු මිතුරු ඉසව්වට ඉගිළ ගියා සේය. ඇයට එයිනුදු දැනුනේ ඉමහත් ලැජ්ජාවකි. ගැහැණු ලමයෙකු ඉස්සර වී තම ආදරය ප්‍රකාශ කිරීම සම්ප්‍රදායෙන් පිට පැනීමක් ලෙස  ඇය සැලකුවාය. ඔහුට මේ ලියුම් හුටපටය ගැන කීවද අටලොස් වැනි වියේ පමන වූ ඔහුට එහි වගේ වගක් නැති විය. අනිත් අතට ඇය එහි ලියා ඇත්තේ ඇගේ ආදර කතාවයි. එය කෙසේවත් ඔහුට අදාළ වන්නට හැකි කමක් නැත. කැපූ වලටම වැටුනු එයින් එයින් කෙසේ  හෝ ගොඩ ආ යුතුය.

වැස්සක් අහස අසලකවත් නැත. දවසෙන් දවස ආදර හසුන වටා දූවිලි බැඳෙනු පෙනේ. ඉරා දමා තිබුනද කාට වුනත් ඒවා එකට අලවා මේ කතාව කියවිය හැකි බව සිතේ. කුඩාවට සිතේ ඇතිවූ බිය ටිකෙන් ටික දළුලා වැඩෙන්නේ තණකොල ගස් වැඩෙනවාටත් වඩා වේගයෙනි. ඇයට සිතුනේ අන් සරණක් නැත කියාය. කල යුත්තේ මේ දුක නිමා කරගැනීමයි. මේ නිසා විභාගයටද පාඩම් කර ගන්නට හරියකට නොහැකිවිය. ඒ නිසා විභාගයද අසමත් වනු ඇත. ඇගේ වැරැද්දට කවුරුත් පළි නැත. ඒ නිසා ඇගේ මරණය පියවරෙන් පියවර ඇය සැළසුම් කරන්නට වූවාය. තාත්තා දියවැඩියාවට ගන්නා පෙති මරණයට හොඳම හේතුවක් වනු ඇත. ජීව විද්‍යාව හැදෑරූ ඇය හිතුවේ මොළයට සීනි අඩුවීම නිසා නින්දෙන්ම මිය යනු ඇති බවයි. ඉතින් තාත්තාගෙන් සොරාගත් වෛද්‍ය නිර්දේශය අනුව මාසයකට පෙති ලබා ගත්තාය. මේවා ඇයගේ පොත් මේසයේ සඟවා තබා ගත්තේ නිවැරදි මොහොත පැමිනෙන තුරුය.

ඊළඟ පියවර මැරෙන දිනයයි. එය විය යුත්තේ සෙනසුරාදාවකය. සඳුදාත් නිවාඩු නම් වඩා හොඳය. සඳුදා අවසන් කටයුතු කල හැකිය. කාටත් කරදරයක් නැත. ඉතින් තවත් දෙයක් කල යුතුය. ඒ සමු ගැනීමයි.ඇගේ හොඳම මිතුරියන්ගේ නිවෙස් වලට ගියේ සිකුරාදා දවසේය. වෙනදා මෙන්ම කතා සිනා අතරින් දවස ගෙවුනි. ඇය සිතින් ඔවුන්ගෙන් සමු ගත්තාය. නිවසට එන මඟ ඔහු නිවසට ගොඩ වැදුනද ඔහු නිවසේ සිටියේ නැත. එහෙයින් ඔහුගේ මව හා කෙටි සංවාදයක යෙදුනුඇය නිවසට ගියාය. රාත්‍රි ආහාරය ගත් පසු අභියෝගාත්මක මොහොත උදා විය.ඇය කලින්ම පෙති සියල්ල ගලවා කවර නිවසේ කසල සමගම පුළුස්සා දැමුවාය.අනතුරුව රාත්‍රී ආහාරයෙන් පසු වැසිකිලියට ගොස් සියළු පෙති ටික ගිල දැමුවාය. ශානි සාමයෙන් නිදා ගත්තේ මේ ජීවිතය අවසන් කියාය. ඇය කවියක් ද ලියා නිම කිරීමට අමතක කලේ නැත. එයින් එය සිය දිවි නසා ගැනීමක් බව පැහැදිළි වනු ඇතැයි ඇය සිතුවාය.

             ළවැලි තලා විසිරි ගිය

            ශාන්තවූ මෙ බිමේ

            තනි රකින්න

කුරුස ගසක්

ඉහ අද්දර

සිටවෙනු ඇත

කළු අකුරින් මගේ නම

එහි සටහන් කරන නිසා

ටික දවසක් මෙ බිම් තීරය

මගෙයි කියා පවතිනු ඇත

මගේ නමින් හෙලන කඳුලු

වියලී යන හෙට දිනයේ

කාගෙත් හද මගෙ මතකය

අමතකව සිනා පිබිදෙනු ඇත                                

ශානී, ශානි යනුවෙන් ඇය තම මව අමතන හඬ ඇසුනේ දුමාරයක් වන් නිදිමතක් අතරිනි. ඇය තම නෙත් නැවත අතගා බැලුවේ තමාට වැරදී ඇතැයි සිතමිනි. නැත ඇය තම නින්දෙන් අවදිවී සිටියි. කවදාවත් ශානි හිතූ දේවල් ඇයට ඕනෑ ආකාරයෙන් සිදුව නැත. ඉතින් මරණය පරක් කර ගත හැකියයි සිතූ ඇය මහා මෝඩියෙකි බව ඇය සිතුවාය. මහා නිදි මතක් සහ කැරකිලි ගතියක් තිබුනද විහාගයට නොගොස් සිටිය නොහැකිය. අම්මා මහා සැර පරුෂය. විභාගයට නොගියොත් ඇය තමාට තඩි බාන්නට වුනත් ඉඩ ඇත. තම මවට හොරා සීනී අහුරු කීපයක් කටට හලා ගෙන ශානි දඩිබිඩියේ ලැහැස්ති වුනාය.

ඉරිදා දිනය දේවස්ථානයට ක්‍රිස්තියානි ආගමේ ඔවුන් අනිවාර්‍යයෙන්ම යා යුතු දිනයයි. විභාගය නිසා ඇයට එදින දිව්‍ය පූජා යාගයට සහභායි විය නොහැකිය. ඉරිදා පූජාවට ඔහු යන්නේ අටට නිසා ඔහු ඇයට හමු නොවන බව ඇය සහතිකයටම දැන සිටියාය. ඇගේ අත් යන්තමින් වෙව්ලයි. හෘද ස්පන්දනයද අධිකව ඇත. පහල කඩයෙන් ඇය චොකලට්ටු දෙක තුනක්ම මිලදී ගත්තාය. ඇය ඔහුගේ නිවාස පසු කරන විටම ඔහු තම නිවසින් පාරට බැස්සේය. එක්කෝ ඔහු පල්ලි යන වේලාව වෙනස් කර ඇත. එසේ නැතිනම් ඇය විභාගයට යන බව දන්නා නිසා ඔහු උදේ හයයි තිහ පූජාවට යයි. තව දුරටත් ඇයට තම වැරදුනු උත්සාහය සඟවා තබා ගත නොහැකි සේය.මේ රහස කා සමඟ හෝ කිව යුතුය. ඉතින් නිශා තම කතාව ඔහුට කිව්වේය. කරන වැඩ ලෙස මඳක් බැන වැදුනත්  ඔහු ඒ පිළිබඳ වගේ වගකට ගත්තේ නැති බව ඇයට වැටහින. ඇය බොරු කියූ බව ඔහුට සිතෙන්නට ඇත. ඇය චොකලට් කමින් පරිගනක විභාගයට මුහුන දුන්නාය. ගෙදර එන විට මල් වරුසාවක්ව ඇරඹි වැස්ස මහා වරුසාවක්ව නැවැත්වූයේ පසු දා ද  දහවලය. ඉතින් ඇගේ ආදරය ද ආදර හසුන ඒ මහා වැසි ජලයේ ගලා ගියා සේය. එහෙත් ජීවිතය නැවතුනේ නැත. එදා සිට අද වන තුරු කිසිදා දිවි නසා ගැනීමේ චේතනාව ජීවිතයේ මොන කරදර ආවත් ඇය වෙත පැමිනියේ නැත. ජීවිතයේ කිසිවක් ඇයට අවැසි විදිහට නොවෙන බව සක් සුදක් සේ පැහැදිළී වූ  හෙයින්මය.

සමහරෙක් ශානි ඉතාම බොළඳ ලෙස හැසිරුනු වග කියනු නොඅනුමානය. එහෙත් ඇයට ඇගේ ප්‍රශ්නය ජීවිතයේ ලොකුම ප්‍රශ්නය විය.ඇය දුටු එකම  විසඳුම මරණය විය. ඉතින් එසේ ජීවිතයේ කොයි යම්ම මොහොතක දිවි නසා ගැනීමේ චේතනාවක් ඇතිවුනොත් තමන්ට කතා කිරීමට, විශ්වාස කිරීමට කවුරුන් හරි නැතිව අතරමං වූවොත් මෙරට උපකාර සේවා බොහෝමයක්ම ඇත. ඒවා කාගෙත් දැන ගැනීම සඳහා පහත සඳහන් කරමි.

Crisis support Line 1333

Lanka Life Line 1375

Sri Lanka Sumithrayo +94 707 308 308

Ref: https://findahelpline.com/countries/lk/topics/suicidal-thoughts

https://www.nimh.nih.gov/health/publications/5-action-steps-to-help-someone-having-thoughts-of-suicide

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2