පූස් කතා 2

දිනක් මම මස් ව්‍යාංජනයක් පිසිමින් සිටින විට (මම නොකෑවද නිවැසියන් කෑමති දෑ ආහාරයට ලබා දෙමි) මහා පූස් කෑ ගැහිල්ලකි. සම්බෝලියක් අඬයි. ඇය ගැබ්බරය. එතැන් සිට ඇය මගෙන් කෑම ලද්දාය. මේ කටයුතු හොරෙන් කිරීමට සිදුවූයේ සැවෝම ඉන්න පූසා මදි දැයි අසන නිසායි. ටුටුවාද ඇය වටා කරකැවෙමින් සිටි අතර ඇය කෙරෙහි සිතැති බව වටහා ගැනීමට අටුවා ටීකා අවැසි නොවීය.

කිහිප දවසකට පසු මොර සූරන වරුසාවක, විදුලි බලයද නොමැති විටක, මම ටුටූ ට ආහාර ලබාදී පූසිය සෙව්වෙමි. ඇය පැමින මගේ දෙපා මත දැව්වෙටිමි යමක් කියයි. පසුව ඇය පසුපස් ගොස් කාරණය වටහා ගතිමි. අපේ වත්තේ මනාව වැඩුනු තෙබූ කොල ගාලකි ඒ මැද ඇය පැටවෙකු හෝ දෙදෙනෙකු බිහිකර ඇත. ආහාරයට ද ඇගේ ප්‍රියතාවක් නොවීය. මා නිවසට දුවගොස් මගේ බාලම පුතාට කතාකර රහසින් ගස් උඩින් රෙදි කඩක් රැඳවූයේ යම් පමනක ආවරනයක් ලබා දෙනු සඳහාය. පසුදින උදයේ ඇය තම දරු පැටවුන් තිදෙනෙකුත් සමඟ නිවසින් පිටත ආවරණ සහිත කොටසකට පැමින ඇත. ලබා දුන් ආහාර අනුභව කල අතර, මගේ සැමියා පැවසුවේ එදින දහවල ඇය ඔහු දෙපා වෙළෙමින් දැන් සිටින තැන පෙන්වමින් සිටි බවයි. ඒ එතැනට තම පැටවුන් ගෙන ආ හැකි දැයි අසන්නට මෙනි. අපි ඇය හට තම දරුවන් තබා ගැනීමට සුරැකි තැනක් ලබා දුන්නද ඒ පැටව් තිදෙනාම එක් දින එකා බැගින් නැතිවුනි. ඉන් පසු පූසි අප නිවසටම අනුගත වූවාය. ඊළඟ වාරයේද පැටව් ලැබෙන්නට සිටිය දී තාත්තාගේ වියෝව නිසා අපිට නිට්ටඹු යාමට සිදුවින. අප ගෙදර පැමිනෙන විට පැටව් දෙදෙනෙක් සිටිය අතර අපි නිවස තුල රක්ෂාස්ථානයක් සලසනු ලැබින. ඒ ඈෂි සහ විලීයි. ටික දවසකින් විලී නංඟි බබෙක් බව දැනගත් නිසා ඈ වින්කි නම් ලද්දාය. ඔවුන් සැම වන්ධ්‍යාකරණය කරන ලද අතර පසුකලෙක වින්කි මිය ගියාය. ඈෂි සහ පූසි තවමත් අප හා ජීවත් වෙති. පූසියාගේ කැලෑ ගතිය තවමත් පහව ගොස් නැත. ඈෂි ද ඇයට අවැසි විට පමණක් සුරතල් වේ. දහවල රාත්‍රී කෑම වේලාව මතක් කිරීමට පැමිනෙන්නේ ඈෂීය.එවිට ඇය සුරතල් පූසි පැටික්කකි නැත්නම් අපි ගැන වගේ වගක් නැත. 

මේ අතර පූසි පසුපස පැමිනි තවත් පූසන් දෙදෙනෙක් අප පූස් කතා අතරට එක් වෙති. එකෙකු නම් මහා තඩි පීපී යාය. ඒ නම වැටුනේ ඒකා ගේ බෙල්ලෙ රැඳි පටිය නිසාය. පටි පූසා නම දිග වැඩි නිසා මම පීපී ලෙස ඒකා නම් කලෙමි. ගෙදර අයගේ රැවුම් ගෙරවුම් මැදින මම පීපීයාට දිනපතා ආහාර දුනිමි. පූස් කල කෝලාහ නිසා අනතුරු කරගෙන පැමිනෙද්දී බෙහෙත් දැමුවෙමි. කොන්ද කඩාගෙන වරෙක පැමිනි විට බෙහෙත් තෙල් ගා හොඳින් පිට අතගෑවෙමි. ඔහු සුවපත් විය. කන වෙලාවට පැමින කා බී යන්නට යාම පීපී ගේ පුරුද්ද්ය. අපි ද ඔහු නිවෙසට වැද්ද ගත්තේ නැත. ඒ හා සමඟම පසු කලෙක බී ඇන්ඩ් ඩබ්ලිව් එනම් බ්ලැක් ඇන්ඩ් වයිට් කළු සුදු පූසෙක්ද කෑම පිඟන් කරා ඇදී එන්නට විය. කොතරම් එළවා දැමූවද වැඩක් නොමැති වූයෙන් ආහාර පමණක් ගන්නා පූසෙක් ලෙස ඔහුවද පූස් පවුලට එකතු කර ගතිමි. 

පසු කලෙක මේ දෙදෙනාම මිය ගියහ. පීපී නම් පැමින වත්තේ වැතිර මියගියේ අපේ සාංඝික දානයට පෙරදාය. මම ඔහු නම පසුවදා පින් දීමේ දී මතක් කලෙමි. 

මේ කාලයේදී නිවසේ ටුටූ, පූසි, ඈෂි, වින්කි, පීපී හා බී ඇන්ඩ් ඩබ්ලිව් ලෙස පූසන් පස් දෙනෙකි.


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්