පළිගැනීම
එදා හොඳින් හිරු පායා තිබුනු ලස්සන දවසක් විය. මම මගේ ගුරුතුමියට ඉමහත් ලෙස ආදරය කලෙමි. ඉතින් කුමාර රචනයේ වැඩ ටික ඉක්මනින්ම අහවර කර පොත පෙන්නීම සඳහා පෝලිමට එක් වූයෙමි. ඇය මට ලොකු හරියක් රතු පෑනෙන් සිංහල පැවරුම වෙනුවෙන් ලබා දුන්නාය. විජයග්‍රාහි ලෙස මම පැමින සීරුවට මගේ සුදු ගවුමේ රැළි නොතැලෙන ලෙස වාඩි වූයෙමි. මම එවකට හිටියේ පළමුවෙනි පන්තියේයි. තරමක් සැර පරුෂ ගුරුතුමියක්වූ ඇය හතලිස් ගණනක්වූ කුඩා අප කෙසේ හෝ පරක් කර ගත්තාය. දඟකාර පිරිමි ළමුන්ද කටකාර ගැහැණු ළමුන්ද ඇගේ කටටත් වේවැලටත් බයක් දැක්වීම කොහොමත් පුදුමයක් නොවේ. ඊළඟට තිබුනේ ගණන් පාඩමයි. මට මතක හැටියට අපිට තිබුනේ 1 - 500 තෙක් ඉලක්කම් ලිවීමයි. එකේ සිට සියයට ලිවීම කජු කන්නාසේය. එහෙත් මම බොහෝ වෙලා කල්පනා කලේ එක සියය ලියන ආකාරයයි. මට හිතුනේ සියය, එක සියය සහ එකසිය එක ලෙස ලිවිය යුතු බවයි. එහෙත් කෙසේ හෝ වැඩය පමාවී අවසන් කර පොත් පෙන්නන පෝළිමට නැවත එක් වීමි. ඒ සමගම මගේ කන අසලින්ම වාගේ පොතක් එළියට විසිවී ගියේය. ඒ පමාවී සිංහල පාඩම ඉවර කර පොත පෙන්වූ ඇගේ පොතයි. කොහොමත් ඇගේ අකුරු හකුරු වගේ බව ගුරුතුමිය කීප දවසකම කියනවා මට මතකය. ...