Posts

Showing posts from July, 2019

පරිසර හිතැති දෙබස්

Image
අම්මට තාත්තට බත් ගෙනියන්නට පෙට්ටි දෙකක් ගත්තොත් නේද හොඳ දවසින් දවසට කෑමට එක එක බත් කොල දැන් ඕනෑ නැහැ ගෙදරට ඒ අදහස නම් අනගියි පුතුනේ මේ පොළොවත් මව් හා සමවන්නේ පරිභෝජනයට අප ගන්නා දේ දෙවරක් සිතා බලා කල යුතුවේ කියන්න අම්මේ බටයක් කුමටද බීම කටින් මට බොන්න නොහැකිවෙද සිලි සිලි මලු හැම කඩයෙන් නොමගෙන එක මල්ලක් ගෙදරින් ගෙනියන්නද මගෙ පොඩි පුතුනේ ඔබ කියනා දේ අද කාලෙට නම් හරියට ගැලපේ මේ ලොව සම්පත් මතු පරපුරටත් ඉතුරු කිරීමයි අප හැම යුතුකම පරිසරයේ තියනා හැම සම්පත අප හට පමණයි නොසිතා සැම දෙය හෙට දින උපදින සත ගැන සිහිකර පතුරමු හොඳ භාවිත ලොව දස අත

චාන්දනියට

මතක මාවත සැරිසරද්දී තාම මතකයි කැවිලි පිඟන් අවුරුද්දට අපේ ගෙදරට නත්තලට ඔබේ ගෙදරට බෙදාගත්තේ හොඳ හිත විතරමයි දිනෙන් දින ගෙවී බෙදාගන්නට අපට තවත් බොහෝ දෑ තිබුනා මිතු දමත් සෙනෙහසත් ඒ අතර තිබුනා ඔබ දැනහිටියාද මන්දා චාන්දනියට අහිමි ඉර මල කාල කුහර සෑදුවාද සිත් තුල තනිකඩ දිවි සොඳුරු විද මග හැරුනු පැන ඇයගෙන් අසන්නට අවසන ඇය දුටු දින අමතකය මුව රැඳි සිනහව නොව අමතකමය කාටත් උරුමවු මගට ඈ තරුණය පතමි නිවන් සුව ඔබහට චාන්දනිය

අගරපතනේ දියට බිලිවූ දැරිවියන්

Image
සවන පතිතවූ සීනු නාදෙන් පේළි සැදී පාසැලෙන් එන්න ඇති මිතුරු මිතුරියො හෙටත් හමුවන සිත දරා උන් සමුගන්න ඇති බොරළු කැට වන් වැහි ඊ වැදිලා සාගින්දර කුස පත්තු වෙන්න ඇති ගෙදර වැඩ දුන් ඉවර කරනට තෙමි තෙමී පය ඉක්මන් වෙන්න ඇති එකම පාරේ එකට යන අය එදා උදයෙත්   දකින්නට ඇති පසුදා උදයේ ඔවුන් නොදකියි කියලා කිසිදා නොසිතෙන්න ඇති වැසි වැටීලා දිය ලැබීලා සැඩ පහර මහ ගසා යන්න ඇති වෙනදා පුරුද්දට බියක් දැනුනත් ජල පහරට පය ගසන්නට ඇති මහා ජල කඳේ පැටලී බේරෙන්න දඟලා උත්සහ දරන්නට ඇති මෙලොව කාලය හමාර වීලා ගැලවෙන මං හැම වලක්වන්න ඇති ගෙදර මා පිය හදේ සෝ ගිනි අවුලවා වැහි දිය ඔහේ ගලා යන්න ඇති යන මග හොඳනම් පාර හොඳ නම් වැස්සට දිවි බිලි නොවී තිබිය හැකි

එය අතුල් පහරක්

එය අතුල් පහරක් නැත.. ඔබට නොව මටම කරගත් එය බරපතල දඬුවමක් වැලට බර නැත වැලේ ඵල නම් තියුණු හී සැර සවන කොනහන හිත් බිඳිමේ අරුම පවසන නුඹට පමණක් ඇරුණ හදවත නෙතඟ කඳුලක සිහිල දැනුනම කෝපාවිශ්ඨ හඬ නොමැති පාලන බලය මගෙ දැන් විගස ගිලිහෙන යලිත්  සුරතට ගන්න සිදුවන නැවත එන්නට යලිත් නොපතන අඳුරු මොහොතක මටත් නොදැනිම ඔබේ මුව මත පතිත කරවූ සිහියෙන් දැන මා එල්ල නොකෙරූ එය අතුල් පහරක්

“තාත්තා අතපත්තු; අපිට නැහැ සපත්තු”

“ තාත්තා අතපත්තු අපිට නැහැ සපත්තු ” මේ පද ද්විත්වය තුන් රෝද රියක ලියවී ඇති බව දුටු මා මිතුරිය හැකි අදාළ වන්නට කවි ලියන්නැයි අභියෝහයක් කලාය. ඉතින් මම පහත වදන් එක් කර කවි පන්තියක් සෑදුවෙමි තාත්තා අතපත්තු අපිට නැහැ සපත්තු දෙස්පළුවො නිදිගත්තු නෑ බලන්නේ අපි දුප්පත්තු බසයට වදෙන් පොරෙන් නැගගත්තු තෙරපෙමින් මැද පෙල සිටගත්තු රස නැති ගී බලෙන් අහගත්තු ගමනාන්තයේ දැනුනේ කෙඩෙත්තු පොරණ අප මී මුත්තු දුකසේ පෙමින් රැකගත්තු බස වනසන දූ පුත්තු දවයි හද කර පත්තු තුන් මුනින් දාඩිය නාගත්තු කළකිරීමෙන් හැඩ ඇදකරගත්තු ලියමනේ තිබූ තැන හොයාගත්තු දිගු පෝලිමේ අගම අල්ලා ගත්තු සම්මුඛ පරිස්සනේ උගත්තු ඇහුවේ නෑ දේ ගැන මා ඉගෙනගත්තු නැති නිසා මට සපත්තු ගෙදර යැව්වේ කියා දන්වන්නම් අතපත්තු