පූස් කතා 1

 

අපේ ගෙදර කවදත් සුරතලෙක් සිටියේ නැත. මගේ මතය වූයේ, සුරතල් සතුන් අපිට කලින් මිය යන නිසා නිකරුනේ සිත් රිදවාගැනීම් ළඟා කරගන්නේ මොකටද කියාය. මට නම් සුරතලුන් හතර දෙනෙකි. ඒ මගේ පුතුන්ය.  එහෙත් පුතුන් ටිකෙන් ටික වැඩෙන විට, ඔවුන්ට සුරතල් සතෙකු අවැසි විය. හැම්ස්ටර් මීයා ( මී උණ ), බල්ලා (කොහේද ශරීර කෘත්‍ය සඳහා ගෙනියන්න්නේ), කුරුල්ලො (කුරුළු උණ ) මෙසේ යෝජනා සහ ඒවාට විරුද්ධ හේතු බොහෝමයකට පසු මගේ මිතුරියකවූ කාමන්ගේ නිවසට ගිය විටක ඇය හාවන් ජෝඩුවක් දුන්නාය. මුලදී වගකීම නිසා කෑම බීම ලබා දුන්නද පසුව හාවන් මගේ ද සුරතලුන් විය. ඔවුනගේ කෑම් බීම සිදුවූයේ මා අතිනි. හා කූඩුව අස් කිරීම තාත්තලා පුතාලාට පැවරින. එක් දිනක් විනොද ගමනක් ගොස් ගෙදරට එද්දී අහල පහල බල්ලන් තාප්පය පැන විත් හාවන් මරා දමා තිබින. අපි සැවොම ඇඬුවෙමු. මමත් ලොකු පුතාත් සදහටම සතුන්ගේ මස් කෑම අතහැරියෙමු. (මට මාළුන්ව ඒ සතුන් හා නොපෙනෙන නිසා මාළු නම් මම තවම පරිභෝජනය කරමි )

එසේ මෙසේ කෙසේ හෝ තවත් සුරතල් සතුන් එපා කියා සිටියත් ටික කලක් යනවිට නැවත මේ කතා ආරම්භ විය. දවසක් පන්ති අවසන්ව එනවිට ලොකු කාර්ඩ්බොඩ් පෙට්ටියක තාත්තාටත් හොරෙන් මෝටර් රථයට පටවා ගෙන පැමිනි පූස් පැටියෙකි. නිරතුරුව අසනීපවූ ඒ මිකාසා පැටියා ජීවත් වූයේ බෙහෙත් බලයෙන් වූ අතර වැඩි කල් යන්නට මත්තේන් මොලොව හැර ගියාය. ළමුන්ගේ ශෝකය මනාව අවබෝධ කරගත් අපේ ළඟම හිතවතිය වූ දිනපතා නිවසට පැමිනෙන අත් උදව්  දෙන චන්ද්‍රා ඇන්ටී විසින් එක් දිනක් සම්බෝලයෙකු (ඒ නම ද දැන ගත්තේ වත පොත පූස් කණ්ඩායම් පෝස්ටුවලිනි. ) ගෙනවිත් තිබුනි. සුරතල් බොලයෙකු වූ ඒ පැටියා දින දෙක තුනකින් අවසන් ගමන් ගියේ හූනු පැටවෙකු ගිල දැමූ නිසා බව මගේ දැඩි විශ්වාසයයි.

තවත් ටික කලකින් අහල පහලින් යන පූසෙක් අපේ නිවසට පැමිනියේ පුතුන් ඔහුට හොරෙන් කෑම දීම නිසාද එසේ නැතහොත් එක් මහා බඩගිනි දිනක අනුකම්පාව නිසා කෑම දීම නිසා දැයි නොදන්නා නමුත් 2017 මැද භාගයේ මේ හොඳින් වැඩුනු විශාල පූසා අප වත්ත පිටියේ ගැවසීම සුලබ දසුනක් විය. ඔහු සිඟිටි ලෙස නම් ලද අතර තුන්වේල කෑම අප නිවසෙන් ලැබුනි.

මේ අතර එක් දිනයක කානුවක හඬමින් සිටි මාස 3-4 ක පමන වයස පූස් පැටවා පුතුන් දැක බේරාගෙන ආවේ. ටුටූ ලෙස නම් ලද ඔහු ඉතා අහිංසක නිතර බියෙන් සිටිනා පූසෙක් විය. ගෙදරට ආව ගිය පූසා හා කිසි ඇයි හොඳයියක් තබා ගැනීමට ටුටූ අකමැති විය. එහෙත් අනිත් පූසා පුදුමාකාර ලෙස මේ අකටයුතුකම් ඉවසා සිටියේය. දිනක මෝටර් රථ අනතුරකට මුහුන දුන් සිඟිටි මිය ගියේය. එය අතිශය වේදනාකාරී වූයේ ඔහු මා නිවසට පැමිනෙන තුරු පන අල්ලාගෙන සිටි නිසාය. වෛද්‍යවරයෙකු වෙත ගෙන යාම පලක් නොවුන අතර මා ඔහුට ආදරයෙන් කතා කර තම ගමන යන ලෙස පවසා සැනසුම් වදන් තෙපලද්දී සෙමින් සෙමින් ඇවිද නිවසෙන් පිටතට ගොස් බිම වැතිර ගත්තේය. ඔහු මතට හෙළීමට රෙද්දක් රැගෙන එන විටත් ඔහු අවසන් ගමන් ගොස්ය.

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්