අත හැරීම
අප සති අන්තයේ ක්‍රීඩා තරඟයක් නරඹමින් සිටියෙමු.
එය කණ්ඩායම් ක්‍රීඩාවක්වූ අතර අප දරුවෝ ක්‍රීඩකයෝ විය. තනිව තීරණ ගැනීමේ හැකියාව
ක්ෂණික තීරණ ගැනීමට යොමු නොවීම අපට පැහැදිළිව පෙනෙන්නට තිබුනු දුර්වලතා විය. සෑම
විටම පාහේ දොළහෙන් පහල ක්‍රීඩකයන් පන්දුව අත දරමින් තම ක්‍රීඩා පුහුණු කරු ඊළඟ
විධානය දෙනතුරු බලා සිටිනවා වැනි අයුරක් ක්‍රීඩාව පුරා අත්දැකි සිදුවීමක් විය. සමහර මා පියන් පැවසුවේ
නිවසේද මෙවැනි ප්‍රවනතා පවතින බවයි. අපි කිහිප දෙනෙක් මෙයට කරුණු විමසන්නට වූයේ දරුවන් හදා වඩා ගැනීමට අත් පොත්
අප කිසිවෙකු සතුව නොපවතින නිසාය.
දරුවන් අත නොහැරීම මෙයට බලපාන ප්‍රධාන සාධකයක්
බව මගේ දැක්ම විය. අපි අපේ දරුවන්ට දැඩිව ආදරය කරන්නෙමු. ඔවුන් උපත ලබන්නට පෙර
සිටම ඔවුන්ගේ ලෝකය ගොඩ නගන අයුරු සිහින දකින්නෙමු. පුංචි රන් කුඹලෙක් මැටි ගුලි
එකින් එක් ගෙන එමින් නිවස සාදා ආහාරයෙන් පුරවා බිජු හෙලා තවත් මැටි ගුලියකින් වසා
දමන්නා සේ අපේ දරුවන්ද හිර කරන්නට උත්සාහ කරන්නේ අධික මා පිය සෙනෙහස නිසාම නිසා
මිස වෙන කිසි හේතුවකට නොවේ යැයි සිතා සිටින්නෙමු. ජීවිතය පුරා අත්පත් කර ගැනීම්
වලින් සතුටු වන අපට දරුවන් ද අප දේපළක් හා සමානය. අපි ඔවුන් තුලින්
අපිවම දකින්නට තැති කරන්නේ අපටත් නොදැනීමය. ඊටත් වඩා නරක වන්නේ අපිට කල නොහැකිවූ
දේ කරන්නට අපි ඔවුන් තල්ලු කිරීමත්, ඔවුන් කැමති අප අකමැති දේවල් කිරීමෙන් ඔවුන්
වැලැක්වීමත්මය.
අපේ ජීවන රටාව විමසා බැලුවොත් බොහෝ විට දරුවන්
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවදිවී මා පියන් පිළියල කර ඇති ඇඳුම් ඇඳගනිමින් හෝ
දෙමාපියන්/ සේවක සේවිකාවන් ලවා අන්දවාගනිමින් උදයේ අහරද කවා ගනිති. පාසලේ
ගුරුවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින්, ප්‍රශ්න සිතට ආවද බොහෝ විට ඒවා නාසමින් හවස ක්‍රීඩා
පුහුණුවකට හෝ හවස පන්තියකට කඩිනමින් සහභාගි වීම සිදුවේ. මව රැකියා විරහිත නම්
පාසලට පැමින දිවා ආහාරයද කවා පන්ති ඇදගෙන යන අවස්ථාද නැතුවා නොවේ. තෙහෙට්ටුව නිවසට
පැමිනෙන දරුවා කුමන හෝ ආහාරයක් ගිලදා අතිරේක වැඩක් පාසලෙන් දී ඇත්නම් එයත් හමාර කර
නින්දට යයි. දරුවන්ට බොහෝ වෙහෙස නම් මාපියන්ද අභ්‍යාස
නොකරනවාම නොවේ. සති අන්තයේද බොහෝ
විට පන්තිය නැත්නම් ඉඩක් ලද හැම විටම අන්තර්ජාල ක්‍රීඩාවකය. ඉතින් කොහෙන්ද ළමුන්ට
අලුත් අත්දැකීමක් ලබා ගැනීමට කාලයක්.
අපි සියල්ල අනිත්‍ය බව දන්නෙමු. එහෙත් ඉතා තදින්
අල්ලා ගන්නට කැමැත්තෙමු. අපේ වැඩ රාජකාරී පවා ඒ අල්ලා ගැනීමෙන් මිදෙන්නේ නැති බව
මොහොතකටවත් නොසිතන්නෙමු. ශ්‍රම විභජනය ඕනෑම කාරියක් ඉතා පහසුවෙන් කිරීමට ඇති හොඳ
මාර්ගය බව අමතක කරන්නෙමු. තනිව තැවෙමින් සියළු බර දර ගන්නෙමු. අපේ දරුවන් ආදරයෙන්
පුංචි පුංචි උදව් කරන්නට ඉල්ලද්දී අපි ඔවුන්ට ඉඩ දෙනවා නම්; ඔව් ඔවුන් හදන තේ කෝප්පය ඔබ හදන තරම් රස නොවන්නට
පුළුවන. එසේම උතුරවා ගත් වතුර ප්‍රමාණය වැඩි වන්නට පුළුවන. සීනි මදි හෝ වැඩි වන්නට
පුළුවන් එහෙත් එය දරුවාට අත්දැකීමකි. අත පුළුස්සා නොගනිමින් වැඩ කරන්නට ඉගෙන
ගැනීමකි. ඔබේ වැඩ ටිකක් වැඩි වුනත් අනාගතයට ආයෝජනයකි. ඉතින් අපි දරුවන්ගේ අත මදක්
බුරුල් කරමු. ඔවුන්ටම ඔවුන්ගේ කටයුතු කරන්නට ඉඩ දෙමු.
පුංචි පුංචි අත්දැකීම් වලින් තම ඥාණය වඩවා ගන්නා
දරුවන් ජීවිතය දෙස අලුත් දෘෂ්ඨි කෝණයකින් බලන්නට පුරුදු වෙන බව නොඅනුමානය. ජීවිතයට
පැමිනෙන බාධක වලට පිළිතුරු හොයන්නට නවමු මග සොයා ගමන් අරඹනු සත්‍යයය. ඒවා අපි සොයා
ගත් පිළිතුරු වලට හාත්පසින්ම වෙනස් හෝ සමාන වනු ඇත.
අත අතහැර මැද මාවතක ගමන් කරන මා පියන් දරුවන් හට
අනර්ඝ මාණික්‍ය බඳු වනු ඇත.
Comments
Post a Comment