සිනහ ගාස්තු


මානව සබඳතා විෂමය. අපි කිට්ටුවෙන් ඇසුරු කරන අයවළුන් සිටින අතර සමහරු සිනාසෙන තරමට දන්නා අයය. එසේම නොදන්නා අයවළුන් සමගද අපි සමහරවිට සිනාසෙන්නෙමු. ඒ හිතවත්කමටත් වඩා මානව දයාව නිසායැයි මට සිතේ.

අද උදයේ රාජකාරි කටයුතු සඳහා ඇවිදගෙන ආ අඩි කිහිපයේ සිනහවක් නිසා මට මගේ මාරු රුපියල් 500ක් අහිමි විය. ඒ සඳහා මට නෝට්ටුවක් ලැබුනු නිසා එය වංචාවකට හසුවීමක් ලෙස වරදවා වටහා ගත යුතු නැත.තුන් රියක් අසබඩ තරුණ ගැහැණු දරුවෙක් සිටි අතර මා හා ඇය ඇස් ගැටින. මම සිනහවක් දුන්නෙමි. ඒ සමගම ඇය කීවේ "අනේ මේ සල්ලි මාරු කරලා දෙන්න පුළුවන්ද" කියායි. මා සතුව මාරු සල්ලි තිබුනු නිසා මුදල් හුවමාරු කරගතිමි. ඒ සමගම පැණයක් රැඳි ඇසක් මා වෙත යොමු විය. ඒ ඇස් අයිතිවූයේ පර්දාවකින් ගත වසා සිටි තරුණ කතකටය. ඇයටද සිනාවක් දුන් මම ගේට්ටුවෙන් ඇතුළුවූයෙමි.

මගේ සිත ඇදී යන්නේ දශක ගණනාවක් එපිටටය. මම පහේ හෝ හයේ පන්තියේ එකල සිටියෙමි. මට මතක ආකාරයට බස් ගාස්තුව සත විසිපහය. අම්මා වැඩිපුර සතයක් අතට නොදේ. මම කඳානෙන් බසයට ගොඩ වුනෙමි. කොන්දොස්තර පැමිණ සල්ලි ඉල්ලීය. මම බෑගයට අත දමමින් හොයන්නට වීමි. මුදල අත නැත. මා අසලම වාගෙ කිසිදා මා කතා කර නොතිබුනු නමුත් සිනා වුනු තාත්තාගේ අයියාගේ දුව වූවාය. ඇය හිමාලි අක්කායි; ජලයට වඩා ලේ බැම්ම බලවත් වූ නිසාදෝ ඇය මා වෙනුවෙන් සත විසිපහක් දුන්නාය. මම ඇය සමග සිනාවී "ස්තූතියි" කීවෙමි.

මේ සමගම තවත් බස් රස කතාවක් මා සිහියට නැගෙයි. ඒ නවසිය අනූ එක වසරයි. මම උසස් පෙළ පන්තියේය. සත විසිපහ නැතිවූ දා සිට බසයට නගින විටම අතේ සල්ලි තබාගැනීම අදටත් මගේ සිරිතයි. පුරුද්දක් ලෙස මගේ මිතුරිය සුරේඛා සමග ගම්පහ අමතර පන්තියට සහබාගී වූවද එදා ඇය නො එන බව කල්තියා කියා තිබුනාය.මම නාගොඩින් ජාඇල බසයකට නැග මුදල් ගෙවූයෙමි. අම්මා පන්ති ගාස්තු ලෙස රුපියල් සියයක් වෙනම දුන්නාය. මට මතක ලෙස ඊළඟ බසයට ජාඇල සිට ගම්පහට රුපියල් 20කි. මට අසුනක් නොලැබුනත් සූදානම් ශරීරයයි කියා මම අම්මා දුන් මුදල් නෝට්ටුව අතට ගත්තෙමි. මහා සුළං පහරක් පැමිණියෙත් මගේ මුදල් හුළඟේ ගසාගෙන ගොස් ජනේළයෙන් එළියට ගියෙත් එසැණිනි. මම අතිශයින් නොසන්සුන් වීමි.රුපියල් සියයක් උදේම ගමනා ගමන මණ්ඩළ බසයකට දීමේ අතිශය බියකරු මොහොතේත් මම අහිංසකව කොන්දොස්තර මහතා සමග සිනාවූවාදැයි මතක නැත. මට මතක මුවින් වදනක්වත් නොකියා මට අතට ඉතිරි මුදල් ලැබුණු බවයි. එවිට නම් සිනහාවක් පිපී කටපුරා ස්තූතියි කීවා මට අදටද මතකය.

සිනහව මානවයන්ටම පමණක් උරුම සුන්දර ත්‍යාගයකි. එය මානව සබඳතා ශක්තිමත් කිරීමටද ස්තූතිවන්තවීමටද උදව් අවැසි කෙනෙකුට උදව් කිරීමට සූදානම් බව හැඟවීමටද නිරන්තරයෙන් උදව් වේ. මේ සිනහව සමච්චල් සිතකින් පිදීමට හැකියාව ඇතිවාක් මෙන්ම කපටි සිතින් වංචා සහගත ලෙස යොදා නොගත්ත හැක්කක්ද නොවේ. කෙසේ වුවත් අව්‍යාජ සිනහව සැමටම ආභරණයක් බව පැරැණ්නෝද කියා ඇත.

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි