ඕමන්තෙයි බස් ගමන


මම බොහෝ කාලයක් බස්වල ගමන් කර ඇත්තෙමි. කුඩා කල පටන් දුර ගමන් ද ළඟ ගමන් ද සෙනඟ ඇති සහ නැති බස් ද  මේ අතර වේ. නමුත් වවුනියා සිට ඕමන්තෙයි කරා ගිය බස් ගමන මේ අතර අමතක නොවන අයුරින් සිතේ තැන්පත් විය. බ්ලොග් පෝස්ටුවක් දමා තැබිය යුතුයයි සිතන තරමට මා සිත් ගත් ගමනක් විය.

වවුනියාවෙන් අප නැගුනේ යාපනය කරා යන බසයකය. බස නොදත් නිසා මා සිටියේ මද චකිතයෙනි. කන් පැලෙන තරමේ හඬකින් ඇසෙන ද්‍රවිඩ සිංදුය. ඊටත් වඩා හඬින් කරන කතාය. කොළඹ හා තදාසන්න පළාත්වල බස් රථවල මා ගමන් කර තිබුනද මේ ගමන ඊට වඩා වෙනස්ම අයුරක් මට දැනෙන්නේ කිමදැයි නොදන්නෙමි.

බස ද නුහුරුය. ඇඳුම් විලාසිතා ද නුහුරුය. බොහෝ විඳවීම් විඳි බවට බැලු බැල්මටම පැවසිය හැකි මුහුණු ද විඩාපත්ය.

බසය ඉගිලී යන්නට වූයේ ගුවන් බසයක් මෙනි. පුවීතා මුදල් දුන් අතර නිමේශයකින් අප ගමනාන්තයට පැමිනියෙමු. තුන් රෝද රියකින් පුවිතාගේ අප්පාව බලන්නට ගිය අතරම රන් දෙවොල යයි හැඳින්වුනු කන්නගි අම්මා නම් දෙවඟන සඳහා කැපවුනු දෙවොලද බලන්නට ගියෙමු.

වැසි වැටී තිබූ නිසා අවට පරිසරය සිනා නගන සේය. ඉන්දියානු ආභාෂය අනුව සැළසුම් කරන ලදුවයි පැවසෙන දෙවොල ශාන්ත අධ්‍යාත්මිකබවකින් පිරී ගොස් ඇතැයි හැඟේ. පිටවන්නට ඇවිත් නැවත ගොස් විනාඩි දහයක් නිහඬව බිම වාඩිවී "ඕම්" හඬට සවන් දුන්විට සිත සැනසී ගිය අයුරු ද පුදුමය.

නැවත තුන් රිය ගමනෙන් පසු ප්‍රධාන බස් පාරටය. බස් රථ දෙකක් කිළිනොච්චියේ සිට මැරතන් ධාවනයකය. අපි වාසනාවන්තයි යනු ඩිශාන්ගේ අදහසයි. පාරට පැමිණි විටම බස් ලැබීම හේතුවයි. මම එකඟ නොවිමි. බස් දෙකම නොනවත්වා ගමනේ යෙදෙයි මම පැවසුවෙමි. නැත මා වැරදිය. පසුපස බසය නැවැත්වූ අතර අපි කඩිමුඩියේ අවසාන් අසුනේ ඉඳ ගත්තෙමු. බසයේ ක්‍රියාදාම ද්‍රවිඩ චිත්‍රපටයකි. කපන කොටන ලේ හළන දසුන්ය. ඒ හා සමාන උද්වේගයකින් බසය නැවත රේස් ධාවනයේය. ඉතා හොඳ පාරවල් නිසා අපහසුවක් නැත. නමුත් පොලීසියේ ඇසටත් වැලි ගසා ගොස් අපේ බසය මුල් තැන ගති. ටික දුරකින් අප ගමනාන්තයයි. අමතක නොවෙන බස් ගමනක අවසානයයි.

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි